HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

අද පොසොන් පෝදා සමරන ඒ අසිරිමත් මොහොත

අද පෙසොන් පොහෝ දිනයයි. අද අනුරාධපුරයත් මිහින්තලයත් සිරිලක් සැදැහවත් ජනයාගෙන් පිරි ගොස් තිබේ. හරියට ම මිට වසර 2000කට පෙර පැවති අද වැනි උත්සව දවසක් ගැන මහාවංශයෙහි සඳහන් කර තිබේ. එදවස ගැන දිවංගත ගුණපාල වීරසේකර වියතුන්ගේ සම්පාදන කළ සිංහල මහාවංශයෙහි දක්වා ඇති ඒ විස්තරය අද මෙසේ ඔබේ පහන් සංවේගය වෙනුවෙන් උපුටා දක්වමු. 


එදා මිහින්තලා කඳු මුදුනේ දී 

එ දා ලක්වැසියන් ගේ මහා උත්සව දිනයෙකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන්හට දිය කෙළි විධාන කොට තමා මුව දඩයමට යාමට පිටත්ව හතළිස් දහසක් සෙනඟ පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයෙහි අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝණෙකුගේ වේසය මවා ගෙන තණ පඳුරක් කමින් සිටන්නා සේ දැක්විය. කෑම කමින් සිටින සතාට විදීම හොඳ නැතැයි සිතූ රජතුමා ගෝණාට ඇසෙන්නට දුනුදිය ශබ්ද කළේය. ගෝණා එය අසා පර්වතයේ අනෙක් පැත්තට දිව්වේය. තමා ලුහුබැඳ ආ රජතුමා මිහිඳු හිමියන් දකින විට ගෝණා අතුරුදන් විය. 

හැම දෙන එකවර දුටුවහොත් රජු වැඩියක් ම භය වෙතැයි සිතූ මිහිඳු හිමියෝ පළමුව තමන් වහන්සේ පමණක් රජුට දැක්වූහ. උන්වහන්සේ පමණක් දැකීමෙන් ම රජතුමා භයට පත්විය.

“එන්න, තිස්ස“ යැයි කියූ මිහිඳු හිමියන්ගේ වචනය ඇසූ රජතුමා ඒ යක්ෂයෙකැයි සිතා වඩාත් භයට පත් විය. 

“මහ රජාණෙනි, අපි ධර්මරාජ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබටම අනුකම්පා පිණිස දඹදිවෙන් මෙහි ආම්හ“ යි මිහිඳු හිමියෝ වදාළහ. 

රජුගේ භය පහ විය. තමාගේ මිත්‍රයා වන අශොක රජතුමන් විසින් එවන ලද පණිවුඩය ද රජුට සිහි විය. මේ වනාහි අශෝක රජුගේ ලියුමෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙකැයි නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා තෙරුන් වහන්සේට ළංව හිඳ ගත්තේය. 

රජතුමා සමග ගිය පිරිස ද අවුත් රජු පිරිවරා ගත්තාය. 

මිහිඳු හිමියෝ ද තමන් සමග පැමිණි අනෙක් සදෙනා දැක් වූහ. 

රජතුමා උන්වහන්සේලා දැක, “මොහු කවදා ආවෝදැ“යි විචාළේය. 

“මා සමග යැ“යි තෙරුන් වහන්සේ වදාළහ. 

“මෙබඳු තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත්දැ“යි රජතුමා ප්‍රශ්න කෙළේය. 

“මහරජ දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබලන්නේය. එහි වනාහි ත්‍රිවිද්‍යාධාරී, ඍද්ධිබලධාරී, පර සිත් දන්නා, දිව්‍ය ශෝත්‍රලාභී, මහරහතන් වහන්සේලා බොහෝ හ“යි මිහිඳු හිමියෝ වදාළහ. 

“වැඩියේ කුමකින්දැ“යි රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු හිමියෝ “ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ“යි පිළිතුරු දුන්හ. අහසින් වැඩිය බැව් රජතුමා දැන ගත්තේය. 

රජුගේ නුවණ විමසීම (බුද්ධි පරීක්ෂණය)

මෙසේ ටික වේලාවක් කතාවෙහි යෙදී සිටිය පසු මිහිඳු මා හිමියෝ රජතුමන්ගේ නුවණැති බව දැන දැන ම තව දුරටත් සෝදිසි කරනු පිණිස ප්‍රශ්න කළහ. ඇසු ඇසූ පැණයට රජතුමා ව්‍යක්ත ලෙස පිළිතුරු දුන්නේය. 

“මහරජ, මේ ගසේ නම කුමක් දැ“යි ළඟ තිබූ අඹ ගසක් දැක්වූ මිහිඳු හිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ. 

‘ඒ අඹ නමි“යි රජතුමා පිළිතුරු දුන්නේය. 

ඊළඟට වූ ප්‍රශ්නෝත්තර මාලාව මෙ සේ ය: 

මිහිඳු හිමියෝ: “මේ හැර තවත් අඹ ගස් තිබේ ද?“ 

රජතුමා: “බොහෝ අඹ ගස් ඇත.“ 

මි: “මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?“ 

ර: “ස්වාමීනි, බොහෝ ගස් ඇත. ඒ ගස් අඹ නොවේ“ 

මි: ඒ අඹත්, නො අඹත් හැර තවත් ගස් තිබේ ද?“ 

ර: “ඇයි ස්වාමීනි, මේ අඹ ගහ.“ 

මි: “මහරජ, තොපි පණ්ඩිතයෙහි“ 

මි: “මහරජ, තොපගේ නෑයෝ සිටිත්ද?“ 

ර: “ස්වාමීනි, බොහෝ දෙනෙක් සිටිති“ 

මි: “නොනෑයෝත් සිටිත්ද?“ 

ර: “බොහෝ නො නෑයෝත් සිටිති“ 

මි: “ඒ නෑයනුත් නො නෑයනුත් හැර අනෙකෙකුත් සිටියි ද?“ 

ර: “ඇයි ස්වාමීනි, මම“ 

මි: “මහරජ, තොප පණ්ඩිතයෙහි“ 

තිස්ස රජතුමා හොඳ නුවණැතියෙකු බව දැනගත් මිහිඳු හිමියන් වහන්සේ රජහට චුල්ලහත්ථිපදෝපමසූත්‍රය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි රජතුමා හතළිස් දහසක් පිරිස සමඟ තිසරණයෙහි පිහිටියේ ය. 

ඒ සැන්දෑයෙහි රාජපුරුෂයෝ රජතුමාට බත් එලවූහ. රජතුමා “මුන් වහන්සේලා දැන් නො වළඳිති“යි දැන දැනම (මෙහි දැන දැන ම කියා යොදා ඇත්තේ භික්ෂූන් වහන්සේ විකාලයෙහි නො වළඳන බව චුල්ලහත්ථිපදෝපමසූත්‍රය දේශනා කරද්දී ඒ ගැන විචාරා දැන ගෙන තිබූ නිසාය.) ඇසිය යුතු යැයි සිතා මිහිඳු හිමියන්ගෙන් විචාළේය. ඒ වෙලාවේ නො වළඳන බව කී හෙයින් වළඳන වේලාව ඇසීය. අරුණෝද්ගමනයෙහි පටන් මධ්‍යාහ්නය දක්වා කාලයේ වළඳන බව දැනගත් රජතුමා නුවරට යාමට වඩින ලෙස මිහිඳ හිමියන්ට ආරාධනය කළේය. 

“මහරජ, තෙපි යා, අපි මෙහි වසන්නෙමු“යි උන්වහන්සේ වදාළහ. 

“එසේ නම් මේ කුමාරයා අප සමඟ එවුව මැනවි“යි රජතුමා භණ්ඩුක කුමාරයා දක්වමින් ඉල්ලී ය. 

“මහරජ, මේ කුමරා මාර්ගඵලලාභී කෙනෙකි. පැවිදි වනු සඳහා අප වෙත වාසය කරයි. දැන් ඔහු පැවිදි කරන්නෙමු. මහරජ, තෙපි යව“යි මිහිඳු හිමියෝ වදාළහ. 

(මෙහි උපුටා දක්වා ඇත්තේ ගුණපාල වීරසේකරයන් විසින් 1955 දී සම්පාදිත සිංහල මහා වංශයෙහි 14 වැනි පරිච්ඡේදයේ කොටසකි. මෙයට පාදක කර ගෙන ඇත්තේ පාලි මහා වංශයයි. එහි මුල් කතුවරයා මහානාම තෙරුන්ය. උන්වහන්සේ ධාතුසේන රජතුමාගේ මාමා කෙනෙකි. පසුව කතුවරුන් ගණනාවක් ඊට දායක වී ඇත.) 

මල් කැකුළු සටහන: වසර දෙදහසකට වඩා පැරණි මෙහි එන ‘රජුගේ බුද්ධිය විමසන පරීක්ෂණය‘ ඒ වර්ගයේ ලොව පැරණිම පරීක්ෂණය විය හැකිය.

අදහසක් පළ කරන්න

0 Comments